පහන් සිතින් සාධුකාර දෙමු

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි

“පාණිම්හි චෙ වණො නාස්ස”

– යමෙකුගේ අතේ තුවාලයක් නැත්නම්,

“හරෙය්‍ය පාණිනා විසං”

– අතින් විස ඇල්ලුව ද,

“නාබබ්ණං විස මනේචති”

– විස ශරීරගත නො වේ.


“නත්ථි පාපං අකුබ්බතො” – එමෙන් වැරැදි අරමුණක් නො වන කල්හි පව් යැයි සම්මත ක්‍රියා සිදු කළත් අකුසලයක් සිදු නො වේ.

ඒ අනුව පවට මුල් වන්නේ ක්‍රියාව නොව සිතිවිල්ලයි. යහපත් ලෙස පිළිබිඹු වන පවිටු සිතිවිලි සමඟ සිදු වන ක්‍රියාවන් ද, අයහපත් ලෙස ප්‍රදර්ශනය වන යහපත් සිතිවිලි සමඟ සිදු වන ක්‍රියා ද ඇත. ඒ හෙයින් ක්‍රියාවට වඩා ක්‍රියාවට මුල් වන සිත පිළිබඳ ව බුදු දහමින් අවධාරණය කෙරේ.

එක් කලෙක සෝවාන් වූ තරුණියක් නගරයට ගිය මස් වැද්දෙක් දැක ඔහු කෙරේ සිත බැඳී, වැද්දාට ඒ බව දැන්වූවා ය. තමා මස් වැද්දෙක් නිසා තමා පසුපස නො එන ලෙස වැද්දා තරුණියට පැවසුව ද ඇය මව්පියන්ට නො දන්වා වැද්දා සමඟ ගියා ය. පෙර කුසල් බලෙන් සෝවාන් ඵල ලැබුව ද, ඇය තුළ කාමරාග සිතිවිලි පහළ වීම ස්වභාවය හෙයින් ඇය එම හිතුවක්කාර තීරණය ගත්තා ය. එම පවුලට දරුවන් සත් දෙනෙක් ලැබිණ.

දිනක් බුදුන් වහන්සේ වෙත පැමිණි ඇය සෝවාන් වූ ස්ත්‍රියක් බව පැවසූ කල්හි භික්ෂූන් වහන්සේලා වික්ෂිප්තයට පත්ව, බුදුන් වහන්සේගෙන් එයට කාරණා විමසූහ. නිර්මාංශික නොවන වැද්දා දඩයමට යන කල්හි ආයුධ සකස් කර දීම, වැද්දා ගෙනෙන මස් පිස දීම ආදි කරුණු ඉදිරිපත් කරමින් ඇය සෝවාන් වන්නේ කෙසේ ද යන පැන භික්ෂූන් වහන්සේලා පුදුමයට පත් කිරීමට හේතු විය.

සිතෙහි පවිටු සිතිවිලි රහිත හෙයින් ඇය අකුසල් රැස් නො කළ බව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. මේ පිළිබඳ ව අපට ඇති හොඳම නිදසුන නම් නිරන්තරයෙන් අප අසා ඇති ධම්ම පදයේ මුල් ගාථාව පිළිබඳ කතා පුවතයි.

එම ගාථාවට මුල් වූ චක්ඛුපාල හිමි පෙර කළ අකුසලයක් හේතු කොටගෙන දෑසම අන්ධ වූ හිමිනමකි. උන්වහන්සේ සක්මන් කරන කල්හි උන්වහන්සේගේ සක්මන් මළුවේ මතු වී සිටි කුඩා කෘමීන් වර්ගයක් පෑගී මිය යන අයුරු දුටු භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ වෙත මෙම පුවත චෝදනාවක් ලෙසින් ඉදිරිපත් කළහ.

“බහූ පාණකෙ මාරෙසීති” බොහෝ කුඩා සතුන් මැරෙති. ඇස් පෙනෙන කල කිසිවක් නො කොට, දෑස අන්ධව සක්මන් කරමින් පණුවන් මරන්නේ යැයි චක්ඛුපාල හිමිට චෝදනා එල්ල විය. එවිට බුදුන් වහන්සේ “මහණෙනි, චක්ඛුපාල හිමිගේ සිතෙහි ද්වේශ සහගත අකුසල් සිතිවිල්ලක් නොමැති හෙයින් සක්මන් කිරීමේ දී කෘමීන් නැසීම නිසා උන්වහන්සේට අකුසල් සිදු නො වන්නේ යැයි පැහැදිලි කළ සේක.

එහෙයින් අප හොඳ නරක තීරණය කළ යුත්තේ ක්‍රියාවට අනුව නොව ක්‍රියාවට මුල් වූ චෛතසික ය අනුව ය. මේ පිළිබඳ සරල නිදසුනක් මෙසේ දක්වමි. සාධු, යන්නෙහි අර්ථය යහපත් යන්නයි. ධර්ම දේශනයක් සඳහා දේශකයන් වහන්සේ වඩින කල්හි දේශකයන් පිළිගැනීම සඳහා ප්‍රසාද සිතින් අපි “සාධු – සාධු යැයි කියමු. ධර්ම දේශනය ශ්‍රවණය සඳහා පැමිණි උපාසකඅම්මා කෙනෙක් එහි වූ රැහැනක පැටලී වැටුණු මොහොතක යමෙක් සාදු යන වදන භාවිත කළ හොත් එහි ප්‍රකාශ වන සිතිවිල්ල යහපත් ලෙස සැලකිය නො හැකි ය. එසේ නම් සාධුකාර දීම හොඳ – නරක යන සිතිවිලි දෙයාකාරයෙන් ම කිව හැකි වදනකි.

Dahamgagana