අසිරිමත් සම්බුදු වදන් මනාකොට සුරැකෙමින් අපට දායාද වූ අයුරු

අපගේ ශාස්තෘ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස පන්සාලිස් වසරක් පුරාවට, සිරි සම්බුදු මුව මඬලින් මිහිරි ශ්‍රී සද්ධර්මය වදාළ සේක. සතර අපායෙන් අත් මුදවන, සුගති සැප සලසාලන අමා නිවනට පමුණුවාලන ඒ අමා දම් පද බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදියේ දී හැඳින්වූයේ නවාංග ශාස්තෘ ශාසනය වශයෙනු යි.

  •  සුත්ත – පොදුවේ සියලු බුද්ධ දේශනා මේ නමින් හැඳින්වුණි. විනය ප්‍රඥප්තීන් ද නවාංග ශාස්තෘ ශාසනයේ දී ඇතුළත් වූයේ මෙම කොටසට ය.
  •  ගෙය්‍ය – දහම් දෙසුමක් අවසානයේ දී එහි අරුත් කැටි කොට ගාථාවන් වදාරණ ධජග්ග සූත්‍රය වැනි දේශනා ය.
  •  වෙය්‍යාකරණ – දම්සක් පැවතුම් සූත්‍රය ආදී ගාථා රහිත දේශනා ය.
  • ගාථා   –  ගථාවන් වලින් සිදුකරන දේශනා.
  •  උදාන – ප්‍රසාද – සංවේගයන් හටගත් අවස්ථාවල දී බුදුමුවින් නිරායාසයෙන් නිකුත්වන දහම් කරුණු යි.
  •  ඉතිවුත්තක – දහම් කරුණු තහවුරු කොට පෙන්වාදෙමින් වදහළ ලෝකාවබෝධ සූත්‍රය වැනි දේශනා ය.
  •  ජාතක – බුදුරජාණන් වහන්සේගේ අතීත බෝසත් චරිතාපදානයන් ය.
  •  වේදල්ල – ධර්ම සාකච්ඡාමය වශයෙන් සිදු කළ දේශනා ය.
  • අබ්භූතධම්ම – බෝසතාණන් වහන්සේලාටත්, සම්බුදුරජාණන් වහන්සේලාටත් ආවේණික වූ ආශ්චර්යවත් කාරණා විස්තර කෙරෙන දේශනා ය.

අපගේ ශාස්තෘන් වහන්සේ ජීවමාන ව වැඩසිටිද්දී ගිහි පැවිදි ශ්‍රාවකයෝ මෙම නවාංග ශාස්තෘ ශාසනය බොහෝ කොට ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළහ (බහුස්සුතා හොන්ති). මතක තබා ගත්හ (සුතධරෝ). සිංහ තෙල් රන් කෙණ්ඩියක බහා තබන්නා සේ මතකයේ රඳවා ගත්හ (සුතසන්නිචයෝ). ආරම්භයත් යහපත් වූ (ආදිකල්‍යාණං), මැදත් යහපත් වූ (මජ්fක්‍ධ්කල්‍යාණං), අවසානයත් යහපත් වූ (පරියෝසානකල්‍යාණං) සීල සමාධි ප්‍රඥා වශයෙන් ගැළපී යන පැහැදිලි අර්ථ සහිත (සාත්ථං), පැහැදිලි වචන සහිත (සබ්‍යඤ්ජනං), සම්පූර්ණයෙන් ම පිරිපුන් වූ (කේවලපරිපුණ්ණං), පිරිසිදු නිවන් මඟ පෙන්වා දෙන (පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති) ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මනාකොට අසා (සුතා), මතක තබාගෙන (ධතා), වචනයෙන් පුරුදු පුහුණු කොට (වචසා පරිචිතා), නුවණින් විමසා (මනසානුපෙක්ඛිතා), පැහැදිලි අවබෝධයක් ඇතිකර ගත්හ (දිට්ඨියා සුප්පටිවිද්ධා). ඒ තුළින් භික්ෂු – භික්ෂුණී යන පැවිදි ශ්‍රාවක පිරිස තුළ ගණනින් සීමා කළ නො හැකි, ගුණයෙන් සීමා කළ නො හැකි නිකෙලෙස් හදමඬල දැරූ අප්‍රමාණ අරහත් ශ්‍රාවකයෝ බිහි වූහ. එමෙන් ම රාගයත්, ද්වේෂයත් ප්‍රහාණය කොට කාම ලෝකයන්හි යළි නූපදින ස්වභාව ඇති අනාගාමී උතුමන් වහන්සේලා පහළ වූහ. දුගතිගාමී රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළ, නියත වශයෙන් ම ධර්මාවබෝධය කරා යන සෝතාපන්න ශ්‍රාවකයන් ද තවදුරටත් රාග ද්වේෂ මෝහ තුනීකර ගත්, එක්වරක් පමණක් කාම ලෝකයෙහි ඉපදී දුක් අවසන් කරන සකදාගාමී ශ්‍රාවකයන් ද අප්‍රමාණ ව වැඩ සිටියහ. උපාසක – උපාසිකා යන ගිහි ශ්‍රාවක පිරිස් තුළත් විශාල වශයෙන් මගඵලලාභීන් බිහි විය. සැවැත්නුවර පමණක් මාර්ගඵලලාභීන් කෝටි පහක් පමණ සිටි අතර ඉන් තුන්ලක්ෂ විසිපන්දහසක් ම අනාගාමී වූවන් බව නාගසේන මහරහතන් වහන්සේ පෙන්වා වදාළහ. දෙවියන්ගේ ද මිනිසුන්ගේ ද ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සදහම් ශ්‍රවණය කොට කෝටි ප්‍රකෝටි ගණනින් දිව්‍ය බ්‍රහ්ම පිරිස ද මග ඵල නිවන් සාක්ෂාත් කළහ.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න සමයේ, අග්‍ර උපස්ථායක වූ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් අමතා මෙසේ වදාළ සේක. “පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේ විසින් ශ්‍රී සද්ධර්මය වදාරන ලද්දේ ය. විනය ශික්ෂාපද පනවන ලද්දේ ය. ඒ ධර්මයත්, විනයත් මාගේ පිරිනිවන් පෑමෙන් පසු ඔබලාට ශාස්තෘ වන්නේ ය” (යෝ ඛෝ ආනන්ද, මයං ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්ථා). භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසරක් පුරාවට දෙව් මිනිස් ලෝක සත්වයාගේ හිතසුව පිණිස කළ යුතු සියලු සම්බුදු කිස නිමවා පිරිනිවන් පා වදාළහ. තෘතීය අග්‍රශ්‍රාවක ශාසන භාරධාරී මහා කස්සප මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයටත්, ආදාහන කෘත්‍යයෙන් පසු ශේෂ වූ ශාරීරික ධාතූන් වහන්සේලාටත් සිදු කළ යුතු වූ සියලු වත්පිළිවෙත් පුද සත්කාර කරවූ සේක. ඉන් පසු අප බුදුරජුන් ශාස්තෘ තනතුරෙහි පිහිටුවා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයත්, විනයත් චිරාත් කාලයක් පැවතීම පිණිස පළමු ධර්ම සංගායනාව පැවැත්වූ සේක. රජගහනුවර වේභාර පර්වත බෑවුමෙහි පිහිටි සප්තපර්ණී ගුහා ද්වාරයේ අජාසත් රජු විසින් සැකසූ මනරම් මණ්ඩපයක පැවති පළමු ධර්ම සංගායනාවට පටිසම්භිදාලාභී අභිඥාලාභී නිකෙලෙස් මහරහතන් වහන්සේලා පන්සියනමක් සහභාගී වූහ. එහි දී ථේරාසනයේ වැඩ සිටි මහා කස්සප මුනිඳුන් විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද විනය ශික්ෂාපදත්, ඒවායේ නිදාන කථාව ආදියත් විමසා වදාළහ. එවිට භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් පනවා තිබූ ධර්මාසනයේ වැඩ සිටි විනයධර ශ්‍රාවකයන්ගෙන් අග්‍ර වූ උපාලි මහරහතන් වහන්සේ විනය කරුණු සියල්ල ම පිළිබඳ ව පහදා දුන් සේක. ඉන් පසු විනය කරුණු පිළිබඳ න්‍යායෙහි අතිශයින් ම දක්ෂ වූ පන්සියයක් ඛීණාශ්‍රවයන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ විනය ඒ අයුරින් ම සාමූහික ව සජ්ඣායනා කළහ.

ගෞතම බුද්ධ ශාසනයෙහි බහුශ්‍රැත භික්ෂූන් අතරත්, වේගවත් නුවණ ඇති භික්ෂූන් අතරත්, මතක තබාගැනීමේ හැකියාව ඇති භික්ෂූන් අතරත්, සිහිනුවණ ඇති භික්ෂූන් අතරත්, උපස්ථායක භික්ෂූන් අතරත් අග්‍ර තනතුර ලැබුවේ මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේ ය. ආනන්ද මහරහතන් වහන්සේ ධර්මාසනයෙහි වැඩ හිඳිමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ ව ඉදිරිපත් කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි අර්ථයන් පිළිබඳ ව අතිශයින් ම දක්ෂ වූ සංගායනා මණ්ඩපයෙහි වැඩහුන් සියලු දෙනා වහන්සේලා ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ම සාමූහික ව සජ්ඣායනා කළහ.

පළමු ධර්ම සංගායනාවේ දී මහා කස්සප තෙරිඳුන් ප්‍රමුඛ මහරහතුන් විසින් මුලින් ම විනය පිටකය සංගායනා කරන ලද්දේ “විනයෝ නාම සාසනස්ස ආයු” – “ශාසනයේ ආයුෂය නම් විනය යි”, “විනයෝ ඨිතස්ස සාසනස්ස ඨිතං හෝති” – “විනය පැවතුනොත් ශාසනය පවතී” යැයි සඳහන් කරමිනි. මෙසේ ශාස්තෘ ශාසනයෙහි ප්‍රාණය වූ විනය, සංගීතිකාරක මහරහතුන් විසින් ප්‍රාතිමෝක්ෂ (නිවනට මුල්වෙන) ශික්ෂාපදයන් ඇතුළත් කොටස උභතෝ විභංග නමින් ද භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ අනෙකුත් ශික්ෂාපදයන් ඇතුළත් අභිවිනය ඛන්ධක නමින් ද උභතෝවිභංගයෙහි හා ඛන්ධකයන්ගේ අර්ථෝද්ධාරය වූ අභිවිනය පරිවාර නමින් ද සංගායනා කරන ලදී. එයට ‘පර්යාප්ති පාළිය’ යන අර්ථ ඇති පිටක ශබ්දය යොදා විනය පිටක යැයි නම් කොට, “ආයුෂ්මතුනි, මෙය ඔබගේ ඇසුරෙහි වසන ශිෂ්‍ය භික්ෂූන්ට හදාරවන්න.” යැයි විනයෙහි අග්‍ර වූ උපාලි තෙරණුවන්ට ම භාර කළහ.

(සුමංගල විලාසිනී – දීඝ නිකාය අට්ඨකථා)

මෙසේ උභතෝවිභංග, බන්ධක, පරිවාර වශයෙන් සංගීත වූ විනය පිටකය ග්‍රන්ථ වශයෙන් භික්ෂු විභංගයෙහි පාරාජිකා, සංඝාදිසේස, අනියත, නිස්සග්ගිය යන කොටස් ඇතුළත් පාරාජිකපාළිය, භික්ෂු විභංගයෙහි පාචිත්තියාදිය හා භික්ඛුණී විභංගයෙහි සියලු ශික්ෂාපද ඇතුළත් පාචිත්තිය පාළිය, මහා ඛන්ධකය ආදී ඛන්ධක දහයක් ඇතුළත් මහාවග්ගපාළිය, ඛන්ධක දහයක් හා සංගීතිඛන්ධක දෙක ද ඇතුළත් චුල්ලවග්ගපාළිය, සොළොස් පරිවාරයෙන් යුත් පරිවාර පාළිය යැයි නම් කොට පොත්ථක සංගීතියෙහි දී ග්‍රන්ථ වශයෙන් පහකට බෙදන ලදී. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪගත කළ පොත්ථක සංගීතිය සිදු කළේ වළගම්බා රජුගේ කාලයේ දී (බු. ව. 440-454ත් අතර වසරක දී) මාතලේ අළුවිහාරයේ දී ත්‍රිපිටකධාරී ෂඞ් අභිඥාලාභී මහරහතන් වහන්සේලා පන්සියනමක් විසිනි.

සුත්තන්ත පිටකය

ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්මය සංගායනා කොට මහරහතුන් විසින් ගණ සජ්ඣායනා කළ පසු ශාසන ව්‍යවහාරයෙහි සමූහය යන අර්ථය ද ලෝක ව්‍යවහාරයෙහි නිවාසය යන අර්ථය ද ඇති නිකාය නාමය යෙදෙන සූත්‍ර පිටකය නිකාය පසකට බෙදන ලදී. ඒ ඒ ධර්ම පර්යායන්ගේ ස්වරූපය අනුව නිකාය පස මෙසේ නම් කරන ලදී.

1. දීඝ නිකාය

දීර්ඝ ප්‍රමාණ දේශනා ඇති බ්‍රහ්මජාල සූත්‍රය ආදී 34ක් සූත්‍ර යොදාගෙන සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය, පාථික වර්ගය යනුවෙන් කොටස් තුනකට බෙදා සංග්‍රහ කොට ඊට දීඝ නිකාය යැයි නම් තබා එහි බණවර 64ක් පමණ වූ පාළිය (අකුරු 8000ක් එක් බණවරකි) සජ්ඣායනා කොට “ආයුෂ්මතුනි, මෙය ඔබ ඇසුරු කරන්නවුන්ට හදාරවන්න.” කියා ආනන්ද තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට භාර දෙන ලදී.

2. මජ්ඣිම නිකාය

මධ්‍යම ප්‍රමාණ වූ මුලපරියාය සූත්‍රය ආදී එකසිය පනස් දෙකක් (152) සූත්‍ර පණ්ණාස තුනකට හා වර්ග පහළොවකට බෙදා සංග්‍රහ කොට මජ්ඣිම නිකාය යැයි නම් කර එහි බණවර 80ක් පමණ වූ පාළිය සජ්ඣායනා කොට “ආයුෂ්මතුනි, මෙය පරිහරණය කරන්න” යැයි ධර්ම සේනාධිපති සාරිපුත්ත තෙරුන්ගේ ශිෂ්‍ය පිරිසට භාර දෙන ලදී.

3. සංයුත්ත නිකාය

ඕඝතරණ ආදී හත්දහස් හත්සිය හැට දෙකක් (7762) සූත්‍ර සංයුත්ත වශයෙන් බෙදා ඊට සංයුත්ත නිකාය යැයි නම් තබා එහි බණවර 100ක් පමණ වූ පාළිය සජ්ඣායනා කොට “ස්වාමීනී, මෙය සිය ශිෂ්‍යයන් ලවා හදාරවන සේක්වා!” යි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පවරා දෙන ලදී.

4. අංගුත්තර නිකාය

දහම් කරුණු එකේ සිට 11 දක්වා වැඩී යන පරිදි සඳහන් වන චිත්තපරියාදාන ආදී නවදහස් පන්සිය පනස් හතක් (9557ක්) සූත්‍ර සංග්‍රහ කොට එයට අංගුත්තර නිකාය යැයි නම් තබා එහි බණවර 120ක් පමණ වූ පාළිය සජ්ඣායනා කොට “ආයුෂ්මතුනි, මෙය ඔබවහන්සේ ඇසුරෙහි වූවන්ට හදාරවන්න.” යි අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට පවරා දෙන ලදී.

5. ඛුද්දක නිකාය

ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, විමාන වත්ථු, පේත වත්ථු, ථේර ගාථා, ථේරී ගාථා, ජාතක, නිද්දේස, පටිසම්භිදා, අපදාන, බුද්ධ වංස, චරියාපිටක යන දේශනා පාළිය සංග්‍රහ කොට ඛුද්දක නිකාය නමින් තබන ලදී. එම ඛුද්දක නිකාය පොදුවේ සියලු සංඝයා මතකයේ දරා ගත් අතර ඒ ඒ කොටස් වෙන ම දරා ගත් පිරිස ධම්මපද භාණක, ජාතක භාණක නමින් ද සම්පූර්ණ ඛුද්දක නිකාය දරා ගත් පිරිස ඛුද්දක භාණක නමින් ද හැඳින්විණි.

6. අභිධර්ම පිටකය

අභිධර්මය බෝ මැඩ දී බුදුරජාණන් වහන්සේ විසින් මෙනෙහි කරන ලද පිළිවෙළින් ද තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන පිරිසට දේශනා කළ පිළිවෙළින් ද ධම්මසංගණී, විභංග, ධාතුකථා, පුග්ගල පඤ්ඤත්ති, කථාවත්ථු, යමක, පට්ඨාන යන කොටස් සතට බෙදීමෙන් සංගායනා විය. එක් එක් කොටස ‘විභංගය’ යන අර්ථ ඇති ‘පකරණ’ නාමයෙන් ධම්මසංගණීප්පකරණ ආදී වශයෙන් සම්මත විය. මෙහි කථාවත්ථුප්පකරණය අනාගතයේ ඇතිවන පරවාදීන්ගේ ධර්ම විරෝධී කථා නිරාකරණය කරමින් මොග්ගලීපුත්තතිස්ස තෙරුන් විසින් සම්පූර්ණ කරන බව දත් භාග්‍යවතුන් වහන්සේ එය විස්තර නොකොට එහි සියලු කථා මාර්ගයන් පිළිබඳ මාතෘකා පමණක් වදාළහ. සප්ත ප්‍රකරණ වශයෙන් බෙදුණු ඒ අභිධර්ම පාළිය අංග වශයෙන් වෙය්‍යාකරණයට ද පිටක වශයෙන් අභිධර්ම පිටකයට ද ඇතුළත් වේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී ම සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් ශිෂ්‍ය රහතන් වහන්සේලාට අභිධර්ම පිටකය ප්‍රගුණ කරවූ හෙයින් ප්‍රඥාවන්ත භික්ෂූන් වූ එම රහතුන් පන්සියනම විසින් ම අභිධර්ම පිටකය මතකයේ දරා ගන්නා ලදී.

(සුමංගල විලාසිනී – දී. නි. අට්ඨකථා)

මහාකස්සප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ශ්‍රී සුගත සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවත්වාලන්නට සමර්ථ ලෙසට පැවති ඒ ප්‍රථම ධර්ම සංගායනාව අවසන් වෙද්දී මහත් ප්‍රීතියක් හටගත්තාක් මෙන් සාගරය සීමා කොට ඇති මේ මහා පොළොව සය වරක් කම්පාවට පත් විය.

දෙවන ධර්ම සංගායනාව

සම්බුදු වදන් සුරක්ෂිත කරමින් අනාගතයට දායාද කළ දෙවන ධර්ම සංගායනාව පැවැත්වූයේ, සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100ක් ගත වූ විට කාලාශෝක රජතුමාගේ කාලයේ දී යි. විශාලා මහනුවරින් පැවිදි වූ වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දස අකැප වස්තූන් කැප යැයි සම්මත කොටගෙන අනුගමනය කිරීම ඊට හේතු විය. කාකණ්ඩ පුත්‍ර යස මහරහතන් වහන්සේ මැදිහත් වී සබ්බකාමී, සාළ්හ, ඛුජ්ජසෝභිත, වාසභගාමික, රේවත, සාණවනවාසී සම්භූත, සුමන යන රහතන් වහන්සේලා ද සහසම්බන්ධ කරගෙන එම අකැප වස්තූන් ධර්ම – විනය ඉස්මතු කොට අකැප යැයි පෙන්වා දී එම ශාසනික අර්බුදය විසඳූ සේක. ඉන් පසු අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සතර පටිසම්භිදාවෙන් යුක්ත වූ ත්‍රිපිටකධාරී මහරහතුන් හත්සියනමක් සහභාගී කරවාගෙන, විශාලා මහනුවර වාලුකාරාමයේ දී රේවත මහරහතන් වහන්සේ මූලික වී දෙවන ධර්ම සංගායනාව සිදු කළ සේක. ප්‍රථම ධර්ම සංගායනාව පරිද්දෙන් ම එය සිදු කළ අතර, දෙවන ධර්ම සංගායනාව මාස අටකින් නිමාවට පත් විය. උපතින් අවුරුදු 140ක් වූ සබ්බකාමී මහරහතන් වහන්සේ උපසම්පදාව ලබා 120 අවුරුද්දක් වූ අතර මුළු පෘථිවියෙහි ම සංඝ ස්ථවිර ව වැඩ සිටි සේක. සබ්බකාමී, සාළ්හ, රේවත, ඛුජ්ජසෝභිත, කාකණ්ඩ පුත්‍ර යස යන මහරහතන් වහන්සේලා ආනන්ද තෙරිඳුන්ගේ ශිෂ්‍යයන් වහන්සේලා වූහ. වාසභගාමික සහ සුමන යන මහරහතුන් දෙනම අනුරුද්ධ තෙරිඳුන්ගේ ශිෂ්‍යයන් වූ අතර මහා වාසනාවකින් හෙබි මේ රහතුන් අටනම භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී උන්වහන්සේව දකින්නට පින් තිබූ තෙරවරු ය. මෙසේ දෙවෙනි ධර්ම සංගායනාවෙන් ධර්ම-විනය සුරක්ෂිත කොට අනාගතයට දායාද කරන ලදී.

තෙවන ධර්ම සංගායනාව

තෙවන ධර්ම සංගායනාව පැවැත්වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රාහක දායකත්වයෙනි. පාටලීපුත්‍ර නගරයේ අශෝකාරාමයේ දී පැවැති තෙවන ධර්ම සංගායනාවට සය වැදෑරුම් අභිඥා ඇති, ත්‍රිපිටකධාරී, චතුපටිසම්භිදාලාභී මහරහතුන් දහස්නමක් සහභාගී වූහ. පළමු, දෙවැනි ධර්ම සංගායනා සෙයින් ම තෙවන ධර්ම සංගායනාව ද සිදු කළ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ, එහි දී අන්‍ය වූ අධර්මවාදී මතිමතාන්තරයන් මර්දනය කරන්නා වූ කථාවස්තු ප්‍රකරණය ද වදාළ සේක. ගෞතම සම්බුදු සසුන බබුළුවාලූ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ, රටවල් නවයකට සම්බුදු සසුන පිහිටුවීම පිණිස, උතුම් රහතන් වහන්සේලා ධර්ම දූත කණ්ඩායම් ලෙසින් පිටත්කර හැරි සේක. “ඔබවහන්සේලා ඉතා රම්‍ය වූ ලංකාද්වීපයට වැඩම කොට ඉතා සොඳුරු වූ ගෞතම සම්බුද්ධ ශාසනය එහි පිහිටුවන්නට ඕනෑ.” කියා මහා මහින්ද හිමියන් ප්‍රමුඛ තම ශිෂ්‍ය හිමිවරුන් වන ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල නමැති රහතන් වහන්සේලා ව වැඩම කරවූ සේක. අප මාතෘභූමියට ගෞතම සම්බුද්ධ සන්දේශය රැගෙන වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ සම්බුදු සසුන පිහිටුවා අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ සිංහල මහරහතුන් ලවා ථූපාරාම සෑ මළුවේ දී විනය පිටකය සංගායනා කරවූ සේක. එමෙන් ම සූත්‍ර, විනය, අභිධර්ම යන තුන්පිටකය පාළි භාෂාවෙන් ම හෙළදිව සඟ පරපුරට හදාරවා එහි අර්ථ විස්තර එවකට පැවති දීප භාෂාවෙන් පහදා දුන් සේක. පසුකාලීනව බුද්ධඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පාළියට නැගුවේ හෙළ අටුවා නම් වූ ත්‍රිපිටකයට කළ එම අර්ථ විස්තරය යි.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ
චතුර්ථ ධර්ම සංගායනාව

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪගත කරන ලද්දේ බුද්ධ වර්ෂ 440-454ත් අතර කාලයේ දී, වළගම්බා රාජ සමයේ දී ය. මාතලේ අලුවිහාරයේ දී කුන්තගත්තතිස්ස තෙරුන් ප්‍රධාන අභිඥාලාභී මහරහතන් වහන්සේලා 500නමකගේ සහභාගීත්වයෙන් සිදු වූ එම උදාර ශාසනික සේවය පොත්ථක සංගීතිය නමින් හඳුන්වයි. ඒ තාක් සම්බුද්ධ පරිනිර්වාණයේ සිට ධර්ම – විනය වනපොත් කරමින්, කටපාඩමින් දරාගෙන පැමිණි උත්තම මහරහත් සඟපරපුර පිළිබඳව පරිවාර පාළි ග්‍රන්ථයේ සඳහන් වන්නේ මේ අයුරිනි.

විනය පිටකය

දඹදිව
1. උපාලි මහරහතන් වහන්සේ

2. දාසක මහරහතන් වහන්සේ

3. සෝණක මහරහතන් වහන්සේ

4. සිග්ගව මහරහතන් වහන්සේ

5. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ
දඹදිවෙන් ලක්දිවට

6. මහින්ද මහරහතන් වහන්සේ

7. ඉට්ඨිය මහරහතන් වහන්සේ

8. උත්තිය මහරහතන් වහන්සේ

9. සම්බල මහරහතන් වහන්සේ

10. භද්දසාල මහරහතන් වහන්සේ
ලක්දිව දී විනය පිටකයත්, සූත්‍ර පිටකයේ නිකාය පහත්, අභිධර්ම පිටකයේ ප්‍රකරණ හතත් උගත් තෙරුන් වහන්සේලා.

11. අරිට්ඨ තෙරුන්

12. තිස්සදත්ත තෙරුන්

13. කාලසුමන තෙරුන්

14. දීඝ තෙරුන්

15. දීඝසුමන තෙරුන්

16. කාලසුමන තෙරුන්

17. නාග තෙරුන්

18. බුද්ධරක්ඛිත තෙරුන්

19. තිස්ස තෙරුන්

20. දේව තෙරුන්

21. සුමන තෙරුන්

22. චූළනාග තෙරුන්

23. ධම්මපාලිත තෙරුන්

24. රෝහණ තෙරුන්

25. ඛේම තෙරුන්

27. ඵුස්සදේව තෙරුන්

28. සුමන තෙරුන්

29. ඵුස්ස තෙරුන්

30. මහාසීව තෙරුන්

31. උපාලි තෙරුන්

32. මහානාග තෙරුන්

33. අභය තෙරුන්

34. තිස්ස තෙරුන්

35. පුප්ඵ තෙරුන්

36. චූලාභය තෙරුන්

37. තිස්ස තෙරුන්

38. චූලදේව තෙරුන්

39. සිව තෙරුන්

සූත්‍ර පිටකය
ආනන්ද මහරහත් පරපුරෙහි වූ දීඝභාණක, සාරිපුත්ත මහරහත් පරපුරෙහි වූ මජ්ක්‍ධිම භාණක, මහාකාශ්‍යප මහරහත් පරපුරෙහි වූ සංයුත්ත භාණක, අනුරුද්ධ මහරහත් පරපුරෙහි වූ අංගුත්තර භාණක යන හිමිවරුන් සහ ජාතක භාණක, ධම්මපද භාණක ආදී ආචාර්ය පරපුර විසින් සූත්‍ර පිටකය මතකයේ දරාගෙන ගෙන එන ලදී.

අභිධර්ම පිටකය

සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරපුරෙහි වූ භද්දජී, සෝභිත, පියජාලි, පියපාල, පියදස්සී, කෝසියපුත්ත, සිග්ගව, සඤ්හ, මොග්ගලිපුත්ත, සුදත්ත, ධම්මිය, දාසක, සෝණක, රේවත යන මහරහත් සඟ පරපුර විසින් අභිධර්ම පිටකය දරාගෙන එන ලදී.

මේ හැර ත්‍රිපිටකයේ ද අටුවා-ශිලාලිපි ආදියෙහි සඳහන් වන පේටක, නේකායික, තේපිටක, පංචනේකායික, වේනයික, සුත්තන්තික, විනයධර, මාතිකාධර, ධම්මකථික ආදී වචනවලින් හඳුන්වන්නේ සමහර තෙරුන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය කොටස් වශයෙන් ද සමහර තෙරුන් වහන්සේලා සම්පූර්ණයෙන් ම ද මතකයේ දරාගෙන සිය ශිෂ්‍ය වූ සඟ පරපුරට හැදෑරවූ බවයි. උපසම්පදා මාලකයේ දී ම පටිසම්භිදාලාභී උතුම් අරහත්වය සාක්ෂාත් කළ මිහිඳු මහරහතන් වහන්සේ වසර 3ක් ඇතුළත සම්පූර්ණ ත්‍රිපිටකය ම අර්ථ විස්තර ද සහිත ව ප්‍රගුණ කර ගත් සේක.

ලක්දිව්තලයට වැඩමකොට සදහම් දායාදය ලබා දී බිහි කළ පරමාදර්ශී ශාසනික වැඩපිළිවෙළ හේතුවෙන් ලක්දිව ද අටළොස් භාණක පරපුරක් බිහි වූහ.

ලක්දිව අටළොස් මහගණය

දීඝභාණක, මජ්ක්‍ධිමභාණක, සංයුත්තභාණක, අංගුත්තරභාණක, ඛුද්දකභාණක, පාරාජිකභාණක, පාචිත්තියභාණක, චුල්ලවග්ගභාණක, මහාවග්ගභාණක, පරිවාරභාණක, ධම්මසංගණීභාණක, විභංගභාණක, කථාවත්ථුභාණක, පුග්ගලභාණක, පඤ්ඤත්තිභාණක, ධාතුකථාභාණක, යමකභාණක, පට්ඨානභාණක, ජාතකභාණක යන අටළොස් භාණක ආචාර්ය පරපුර විසින් ත්‍රිපිටක ධර්මය ලක්දිව දී ප්‍රගුණ කොට මතකයේ දරාගෙන අනාගතයට දායාද කළ සේක.

බුරුම රට පැවති සංගායනා

බුද්ධ වර්ෂ 2414 දී බුරුම රට මණ්ඩලේ නුවර දී ජාගරාභිවංස මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්, හිමිවරුන් 2400 නමකගේ සහභාගීත්වයෙන්, සැදැහැති මිං ඩොං මිං රජතුමාගේ දායකත්වයෙන්, පංචම ධර්ම සංගායනාව පවත්වා තිබේ. එමෙන් ම 2500 බුද්ධ ජයන්තිය නිමිති කරගෙන බුරුම රජය ධර්ම සංගායනාවක් පවත්වන්නට තීරණය කොට ලාංකීය මාහිමිපාණන් වහන්සේලාගේ සහය ද ලබා ගත්හ. බුරුම රජය මුල් වී ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය යන ථේරවාදී රටවල් සම්බන්ධ කරගෙන සංගායනාව පැවැත්වීමට කටයුතු කළහ. එවකට ශ්‍රී ලංකාවෙහි තිබූ ත්‍රිපිටක ග්‍රන්ථ, බහුශ්‍රැත ධර්මධර මාහිමියන් වහන්සේලාගෙන් සමන්විත සංඝ මණ්ඩලයක් විසින් සම්පාදනය කොට බුරුමයට වැඩමවන ලදී. එම ත්‍රිපිටක ග්‍රන්ථත්, බුරුම අකුරින් තිබූ ත්‍රිපිටක ග්‍රන්ථත් සංසන්දනය කොට බලා පිරිසිදු ථේරවාදී ත්‍රිපිටකය අවුරුදු 2ක් මුළුල්ලේ සංගායනා කරන ලදී. බුද්ධ වර්ෂ 2498 දී බුරුම රට රැන්ගුන් නුවර දී රට්ඨගුරු රේවත මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති එම ඡට්ඨ ධර්ම සංගායනාවට 2500නමක් සඟ පිරිස සහභාගී වූහ.

බුරුම රට පැවති පස්වන ධර්ම සංගායනාවෙන් පසු ශ්‍රී ලංකාවේ, පැල්මඩුල්ලෙහි පුරාණ රජමහා විහාරයේ ද කැලණියේ විද්‍යාලංකාර මහා පිරිවෙනෙහි ද මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි ද ධර්ම සංගායනා තුනක් පවත්වා ඇත.

2500 බුද්ධ ජයන්ති වර්ෂයේ දී
ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීම

මෙසේ සංගායනා මගින් මැනැවින් සුරක්ෂිත ව අනාගතයට දායාද වූ තථාගත ධර්ම – විනය 1956 වර්ෂයේ දී සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ආරම්භ විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 2500 වසරක් ගත වූ එම වසරේ දී දසතින් නැගී ආ බෞද්ධ ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් ලෙස ලංකා බෞද්ධ මණ්ඩලය පිහිටුවා ත්‍රිපිටක පාලිය සිංහලට පරිවර්තනය කිරීමට කටයුතු සම්පාදනය කරන ලදී. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව එවකට වැඩ සිටි ධර්මධර විනයධර බහුශ්‍රැත මහතෙරුන් වහන්සේලා විසින් සම්පූර්ණ ත්‍රිපිටකය සිංහල භාෂාවට ඉතා නිවැරදි ව පරිවර්තනය කරන ලදී. 1956 වසරේ දී ආරම්භ කළ එම විශිෂ්ඨ ශාසනික මෙහෙය 1989 වන විට සියලු ත්‍රිපිටක ග්‍රන්ථ සිංහල භාෂාවට නැගීමෙන් සමාප්තියට පත් විය. අනතුරුව එම සියලු ග්‍රන්ථ රත්නයන් පාළි හා සිංහල යන භාෂා ද්වයෙන් ම යුක්තව මුද්‍රණද්වාරයෙන් එළිදක්වන ලදී.

මෙසේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්වැනි ශතවර්ෂය තෙක් අවිච්ඡින්න වූ ස්ථවිර පරම්පරාව මතකයෙහි දරාගෙන පැමිණි අර්ථ විස්තර සහිත සම්පූර්ණ ත්‍රිපිටක පාළිය, බු.ව. 440-454 අතර කාලයෙහි වළගම්බා රාජසමයෙහි, ත්‍රිපිටකධාරී ෂඞ් අභිඥාලාභී පන්සීයක් වූ සිංහල මහරහතුන් විසින් මාතලේ අලුලෙන් විහාරයෙහි වැඩ හිඳ තල්පත්වල සිංහල අකුරෙන් ලියවා ග්‍රන්ථාරූඪ කොට සංගායනා කරන ලදී. වර්තමානයෙහි අප භාවිතා කරන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ සකස් වූයේ එසේ ග්‍රන්ථාරූඪ කරන ලද පරම පිරිසිදු නිර්මල බුද්ධ වචනය ඇතුලත් කොට ය. එනිසා එම ත්‍රිපිටක ග්‍රන්ථයන්හි ඇතුලත් බුද්ධ දේශනා පිළිබඳ (විකෘති වූ වෙනස් වූ පසුකාලීනව සැකසුණු දෙයක් යැයි) කිසිදු සැකයක් ඇතිකරගැනීමට අවශ්‍ය නැත.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි

Dahamgagana