Facebook Twitter Youtube

සිදුහත් කුමරු උපන් ලුම්බිනියට වන්දනාවේ ගිය රජු

siduhath upatha

බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ ප්‍රධාන සිව් වැදෑරුම් (සිදුවීම් හතර) සිදුවීම් සිදුවූයේ දඹදිව හෙවත් පුරාණ දඹදිවය. ඒපැරැණි දඹදිවට මෙකල ඉන්දියාව පමණක් නොව නේපාලය , පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය ද අයත් වූයේය. මේ නිසා ලුම්බිනිය හෙවත් රුම්මින්දෙයි නමැති පුදබිමට මහ බෝසතාණන් වහන්සේ උපත ලද කාලයේ සිට කිස්තු පුර්ව තුන්වන සියවස වන තුරුම ලක්ෂ කෝටි ගණන් බෞද්ධයින් මෙන්ම වෙනත් සංචාරකයින්ද පැමිණෙන්නට ඇත. එහෙත් එක් සුවිශේෂ වූ පුද්ගලයෙක් කි‍්‍රස්තු පූර්ව 250 දී එම පුදබිමට පැමිණි බව අපි ඉතා හොඳින් දැන සිටින්නෙමු. අපි ඒ බව දැන ගන්නේ ඒ මහා පුරුෂයා විසින් තමාම එම ලුම්බිනි නම් මහ බෝසතාණන්වහන්සේ උපත ලද පුදබිමට පැමිණ ඒ බව එහි ශිලා ස්තම්භයක සටහන් කර ශිලාලේඛනයක් ඒ ස්තම්භයෙහි ලියා තැබූ නිසාය. ඒ ශිලා ලේඛනයෙහි තමා එම පුදබිමට පැමිණි බව පමණක් නොව සාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ එම පුදබිමෙහි (ලුම්බිණි ගාමේ) උපත ලද බව එම ශිලා ලිපියේ ස්ථාන දෙකකම සඳහන් කර ඇත. මේ ලියා තැබූ පුද්ගලයා වෙනත් කිසිවෙකු නොව ජම්බුද්වීපයේ පහළ වූ ශ්‍රේෂ්ට පාලකයෙකු වු අසෝක (ක්‍රි.පූ. 272-232) මහා අධිරාජයාය.

අසෝක අධිරාජයා නොසිටින්නට අද සිද්ධාර්ථ කුමාරයා උපන් පුදබිම පිළිබඳ පැහැදිලි ලෙසින්ම ශිලා ලේඛන සාක්ෂි සහිතවම හඳුනා ගැනීමට නොලැබෙනු ඇත. (භාරත ලංකා බෞද්ධ උරුමය – සිරිසමන් විජේතුංග පිටු 67-68 (2006)

සිදුහත් කුමරු සත්පියුම් මත පියවර තැබීම දැක්වෙන මෙම මූර්ති කැටයම – ගන්ධාර මූර්තියකි

ලුම්බිනි ශිලා ස්තම්භයෙහි බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති අසෝක රජුගේ එම ශිලාලේඛනය පේළි පහකින් යුක්තය. එය මෙසේය.

1. දෙවන පියෙන පියදසින ලජින වසනිසිනෙන

2. අතන අගාඩ මහියෙන හිද බුදජාතෙ සාක්‍යමුනිති

3. ශිලා විගඩහිච කල පිතෙ සිලා ථබෙච උසපපිත

4. හිද භගම්ජාතෙති ලුම්බිණි ගාමෙ උබලිකමෙ

5. අට භාගියෙච (ASDKA –D.R.BHANDARCAR-P.332-University of Calcutta 1925)

මෙහි සිංහල තේරුම මෙසේය. – දෙවනපිය පියදසි (අසෝක රජු) ගේ අභිශේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි මෙහි ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ උපන්නේ යැයි සලකා තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අදහා ප්‍රකාශයට පත්කොට දැඩි ඇල්මකින් යුක්තව ශිලා ටැඹක්ද පිහිටුවීය. ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස්කොට අර්ථලාභය ඇති කළේය.

අසෝක ධම්මලිපි (ටැම්ලිපි හා ලෙන් ලිපි ) මහාචාර්ය අබය ආර්යසිංහ – පිටු 58-59 -2000)

බුදුරජාණන් වහන්සේ මෙහි උපන් බව “හිද බුද ජාතෙ සාක්‍යමුණිති” “හිද භගවම් ජාතෙති” යනුවෙන් මේ ශිලා ටැඹෙහි ස්ථාන දෙකකම ලේඛනගත කිරීම ඉතාම වැදගත් කරුණකි. එම ලුම්බිණි පුදබිම හඳුනා ගැනීමට තිබෙන ඉතා ප්‍රබල පුරාවිද්‍යා සාක්ෂිය වන්නේ ද එයමය.

ලුම්බිනියේ පිහිටි මෙම පුද බිමෙහි සැදැහැවත් ඔබට එම ශිලා ටැඹ පමණක් නොව මහාමායා දේවියට බෝසතාණන් වහන්සේ උපත ලද ස්ථානයේ පිහිටි මහාමායාදේවි විහාරයද උපතින් පසු බෝසතාණන් වහන්සේ ස්නානය කළ මහාමායාදේවි පොකුණද එහි දී දැක ගත හැකිය.

අසෝක රජතුමා විසින් සිදු කළ ඒ මහා වන්දනා ගමන ඉතා සැලසුම් සහගතව කරන ලද්දක් බව පුරාවිද්‍යාඥයින් විසින් පහදා දී ඇති කරුණකි. 1933 දී කරන ලද පුරාවිද්‍යා කැණීම් වලදී එම පුදබිමෙහි සිදුහත් කුමාරයා උපත ලද කාලයට වසර 500 පමණ පසුව එහි ඉදි කරන ලද සිදුහත් කුමාර උප්පත්තිය නිරූපණය කෙරෙන මූර්ති කැටයමක්ද එම පුදබිමෙන් හමුවී ඇත.

ෆාහියන් නම් වූ චීන ජාතික භික්ෂූන් වහන්සේ ක්‍රිස්තුවර්ෂ පස්වන සියවසේදී ලුම්බිනි පුදබිමට පැමිණි බව උන්වහන්සේගේ වාර්තාවල සඳහන් වේ. ඉන්පසු ක්‍රිස්තුවර්ෂ හත්වන සියවසේදී තවත් චීන භික්ෂූන් වහන්සේ නමක් වූ හියුංසාං හිමි ද එම පුදබිමට පැමිණි බව වාර්තාවල සඳහන් කර ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
(Msc පුරාවිද්‍යා)