Facebook Twitter Youtube

මහා සෑයේ ධාතු ගර්භය අතිශයින්ම විශ්මිතය

maha

දුටුගැමුණු මහ රජතුමා විසින් ඉදිකරමින් සිටින මහා සෑයේ තුන්වෙනි පේසා වළල්ල දක්වා ඉදිකිරීම අවසන්ව තිබියදීත් නව වතාවක් පේසා වළලු ගිළුණේ බුදුසසුන තිබෙන තුරා උතුම් සෑයේ චිරස්ථිතිය පිණිස යි. ඒ රහතන්වහන්සේලාගේ අධිෂ්ඨානය යි. රහතන් වහන්සේ ඒ මහා පින්වත්ත ගැමුණු නිරිඳුන්ට කරුණු පැහැදිලි කළහ. පේසා වළලු තුනට ගඩොල් කෝටි දහයක් බැගින් යෙද වූ බව සඳහන්ය. අද එතැන් සිට. . .

රහත් සාමණේරයන් වහන්සේ නමින් “උත්තර” සහ “සුමන” ය. උතුරුකුරු දිවයිනේ මේද වර්ණ පාෂාණ තැටි හයක් රැගෙන වැඩියහ. තුන්වෙනි පේසා වළල්ල මට්ටමේ අතුරා එක් ගලක් බිත්ති හතරට අනෙක් ගල් හතරක් තබා පියනට එන ගල නැඟෙනහිර දිසාවේ වැලි මළුවේ නො පෙනෙන්නට සැඟවූහ. මේ ආකාරයට රත්නමාලී මහා ස්ථූපරාජයාගේ ධාතු ගර්භයේ බිත්ති සැකසුණි.

පළමුව නිර්මාණය
මහා බෝධි වෘක්ෂය යි

සෑ ගැබ මැද ඒ බෝධිය නිර්මාණය විය. බිම ඉඳුනිිල් මැණික් ඇතිරූ අතර, බෝධි වෘක්ෂයේ මුල් පබළු වලින් නිර්මාණය විය. කඳ රිදියෙන් ද, අතු රනින් ද, නිර්මාණය වූ අතර, එහි උස රියන් දහඅටකි. අතු දිගින් රියන් දහඅටකි. මෝරපු බෝපත් රනින්ද, අනෙක් බෝපත් ඉඳුනිල්් මැණිකකින්ද, අංකුර පත්‍ර ඒ ඒ මැණික් පැහැයෙන් ද සිදුවිණ. බෝධින් වහන්සේට ඉහළින් සුදු වියනක් බැඳ වියන වටකර සුදු මුතුවැල් එල්ලා ඇත. රන් වැල් මිණිගෙඩි වැල් ඒ වටේ එල්ලා නව ලක්ෂයක් වටින මැණික් හතරක් හතර මුල්ලේ එල්ලිණ. නැඟෙනහිර දිසාවේ හිරු මඬලද, බටහිර දිසාවේ සඳ මඬල ද, රනින් සිදුවිය. නැකැත්, තරු ඒ ඒ මිණි පැහැයෙන් විණ. බෝධීන් වහන්සේ වටා අටමගලයක්ද විණ. (අටමඟලය යනු එක් පසෙකින් සිංහයෙක්, තව පසෙකින් හස්ථියෙක්, තව පසෙකින් දක්ෂිණා වෘත්ත සංඛයක්, තව පසෙකින් වෘෂභයා, තව පසෙකින් පුන් කළස, තව පසෙකින් ධජය සහ පහන රන්මය, මිණිමය වශයෙන් ඉදිවීම) බෝධීන් වහන්සේ වටා මල් ඇතිරුණි. රන් මල්, රිදී මල්, මැණික් මල්, සඳුන් මල්, ආදි ඒ අතර විය. ඇත්, අස්, ගව, සිංහ ආදිය සත්ව පන්තියක් වටේ ඉදි කළ අතර, ඒ වටා හංසයෝ දිවෙන අයුරු නිර්මාණය විණ. අතුරු සිදුරු නොමැතිව රන්, රිදී, මුතු, මැණික්, වෛරෝඩි, දියමන්ති, පබළු යන සත් රුවනම ඇතිරූ අතර එක් ලක්ෂ අසූදාහක් සළු රන් නූලෙන්, රිදී නූලෙන් වැඩ දමා මැණික් ඔබ්බවා මුතු එල්වා ඒ ඒ තැන දිව්‍ය සළු සේ සැරසුණි. ඒ බෝධි වෘක්ෂය අතිශයින්ම ලොමු දහ ගන්වන සුළු විය. දකින විට විහිදෙන රශ්මියෙන් දෑස් නිලංකාර වුණි.

පුන්කළස් පූජාව

බෝධීන් වහන්සේ කඳ පාමුල සත් රුවනින් නිම කළ පාවාඩයක් අතුරා තිබේ. මුතු ඉහිරුවා සුවඳ පැන් පිරවූ පුන් කළස් බෝධිය වටේ පිහිටණ. එය අපූරු ආකාරයට සිදුවී තිබුණ අතර, මැණික් කළ තුළ පබළු වලින් මල් නිර්මාණය කර තිබුණි. ඉඳුණිල් මැණික් කළ තුළ රිදී මල් ද, රිදී කළයේ නිල් මැණික් මල්ද සත්රුවන් කළයේ සත් රුවන් මල්ද පුරවා තිබුණි. ගෞතම බුදු සසුන පවතින තුරා ධාතුන් වහන්සේ වැජඹෙන මහා සෑ ධාතු ගර්භයේ බෝධි උපහාරය කෙතරම්දැයි සිතාගත නොහැක. ලොමුදහ ගැන්වෙන සුළුය.

සෑ ගැබේ අසිරිමත් බුදුරුව

සෑ ගැබ තුළ වැඩසිටින බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උස සැබෑම බුදුරජාණන් වහන්සේගේ මෙනි. උන්වහන්සේ නැඟෙනහිර දිසාවේ අසුන්ගෙන වැඩසිටින ලෙස නිර්මාණය වී ඇති අතර භාග්‍යවතුන් වහන්සේගේ නිය, ධාතූන් විස්ස හා නෙත් සඟලේ සුදු තැන් පාරිශුද්ධ පළිඟුවෙන් කළේය. අතුල්, පතුල්, තොල් සඟළ, දෑසේ රත් තැන්, පබළු මාණික්‍යයෙන් කළේය. දෙබෑම නෙත් සඟලේ මධ්‍ය මණ්ඩලය සහ මුදුන් කේෂ ජාතිමත් ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් කළේය. ඌර්ණ ධා සමිඳු රිදියෙන් කළේය. අපරිමිත ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේ සිහිකොට කිසිවකට මිල කළ නොහැකි අපරිමිත බුදු රුවක් නෙළු මහරජ ගැමුණු සැබැවින් ම අපරිමිත ශ්‍රද්ධාවෙන් ඔදවැඩී ගිය රජ කෙනෙකුම විය.

දෙව් බඹ නා නර පෙළහර

රිදී සේසත් දරන සහම්පතී මහා බඹු ද, ජයතුරා සක පිඹින සක් දෙව් රජුුද, බේළුව පණ්ඩු වීණාව වයන පංචසිඛ ද, තිස්තුන් කෝටියක් දෙවිවරු, පුෂ්පෝපහාර සහිතව සාදු නාද පවත්වන අයුරු මූර්තිමත් කළේය. දහසක් පෙන මවා බුදුගුණ කියන මහාකාල නා රජුද, නොයෙක් පිරිවර සහිත නා රජවරුද ඔවුහු නොයෙක් අප්සරාවන් පිරිවරුවේ ය. දෙවියන්, බඹුන්, නාගයන්, මිනිසුන් නොයෙක් උපහාර කරන ප්‍රතිමා ඇදිහිය නො හැකි ලෙස ජීවමාන සේ පෙනී ගියේය.

සම්පූර්ණ බුද්ධ චරිතයම නෙලීම

සත් සතියත්, කපිල වස්තුවේ සම්පුර්ණ සිදුවීමත්, බුදුරජුන් ඇසුරු කළ රජවරුත්, අසූ මහා ශ්‍රාවකයන්, බුදු රජුන්ගේ ප්‍රාතිහාර්යයත්, නොයෙක් සිදුවීම්, ධම්මපදයේ කථාත් පිළිම වශයෙන් නෙළු අතර රහතුන්ගෙන් අසනා අසනා සිද්ධිය පිළිම ලෙස ඉදිවිය. පන්සිය පනස් ජාතකයම මූර්තිමත් විය. සාමාන්‍ය ශ්‍රද්ධාවකින් යුතු අයෙකුට මේ දේ කළ හැකිද? මහරජ ගැමුණු රජෙක් ම ය. සසුන බැබළ වූ ශ්‍රද්ධා නරපතියෙක්ම ය. මව්බිම ජයගත් වීර නරේන්ද්‍රයා ය. මහා සෑ කරවන නිරිඳාය.

වෙස්සන්තර ජාතකය සිදුවීම්

මේ දාගැබේ විසිතුරු නිර්මාණ අතර වෙස්සන්තර ජාතකයේ ප්‍රතිමා නම් දුටු දුටු දනන් හට බලවත් සංවේගය උපදින ලෙස නෙලා ඇත. සම්පූර්ණ ජාතක කතාවම පිළිවෙලට ගෙන තිබෙන අතර හඬන වැළපෙන අයුරු දුටුවා සේ අඹා ඇත. එවැනි නිර්මාණයක් බුද්ධෝපහාරය පිණිස තුන්ලොව කොතැනක හෝ නොමැත. සිදුහත් බෝසත් චරිතය මුළුමණින්ම නිර්මාණය වූයේ විශ්මිත ලෙසය. මේ සියල්ලම සත් රුවනින් කරවීමට රජුට මෙතරම් රන්, රිදී, මුතු, මැණික් කොයින්ද? ද්‍රෝණයක් ධාතු තැම්පත් වන මහා සෑයේ ආනුභාවයටත්, රජුගේ පුණ්‍ය සෘර්ධියටත්, රහතුන්ගේ තේජසටත්, මෙතරම් රන්, රිදී, මුතු, මැණික් පහළ වූවාද? ආරම්භයේ සිදු වූ අසිරිමත් ප්‍රාතිහාර්යන් ඔබට මතක ඇති.

මහින්දාගමනය

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩම කළ දා පටන් ගැමුණු රජ සමය දක්වා සෑම සිදුවීමක් ම නිර්මාණය විය. ධර්ම විනයේ සඳහන් සියළු සිදුවීම් නිර්මාණය කැරිණ. දහම් දෙසන භික්ෂූන් ඉදිරියේ රන්මැලි සෑ ගැබ දුටු කෙනෙක් සිටියේ නම් “ස්වාමිනි අසවල් සිද්ධිය නොකිව්වේ මන්ද? සෑ ගැබේ එය තිබෙනවා නෙව“ කියන අය සිටිත්. එතරම් ම මනස්කාන්තය. සෑ ගැබ දුටු භාතිය රජු තුන් වරුවක් කියාත් සෑ ගැබ දුටු ආකාරය කියා අවසන් කළ නොහැකි විය.

දා ගැබ වැසුවේ ඇයි?

මෙතරම් උපහාරයක් රජු විසින් සිදුකළේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට මිස අපගේ ඇස් පිනවීම පිණිස නොවේ. එසේනම් භාග්‍යවතුන් වහන්සේට අපරිමිත උපහාරයක් කරන්නට රන්, රිදී, මුතු, මැණික් වලින්ම සියලු නිර්මාණ කිරීමටත් බුදු සසුනේ සියලු සිද්ධි නිර්මාණය කිරීමටත්, ඒ සියල්ල සැළකිලිමත්ව උසස් අයුරින් ම කිරීමටත්, ඒ සියල්ලම භාග්‍යවතුන් වහන්සේට කැප කිරීමටත්, රජුට තිබූ ශ්‍රද්ධාව තවත් සැදැහැවතෙකුට මිස අසත්පුරුෂයෙකුට නම් නොදැනේ.

සෑ ගැබ විවර වූවානම්

ඔබට සිතේවි මේ සෑ ගැබ විවර වූවානම් කෙතරම්ද කියා. සෑ ගැබ විවර වුවානම් එය හුදෙක් ප්‍රසංසාවකින් ම අවසන් වනු ඇත. අයෙක් පුදුම වනු ඇත. තව අයෙක් ඇදකුද කියනු ඇත. ආරක්ෂිත වැඩපිළිවෙලක් අවශ්‍ය වනු ඇත. මුතු, මැණික් දකින අයෙක් වාවා ගත නොහැකිව ඇද වැටෙනු ඇති අතර, සැදැහැවත්හූ සැදැහෙන් ඔදවැඩී යනු ඇත. නමුදු අද දුර්වල මිනිස්සු බහුලය. “රන්මැලි සෑ ගැබ විවර නොවී පවතීවා” එය රහතුන්ගේ අධිෂ්ඨානය යි. නමුදු පුණ්‍ය සෘර්ධි ඇත්තෝ අදටත් සෑ ගැබ නො දකිනවා නොවේ. එය අතිශයින්ම අසිරිමත් නොවන්නේ ද?.

මහා සෑයේ ධාතු ගර්භය අතිශයින්ම විශ්මිතය
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

– නයනා නිල්මිණි