Facebook Twitter Youtube

පෙර නො ඇසූ විරූ ධර්මය

Mayadevi-Sleeping-Dreaming-Copy copy

උපක ආජීවකයා සමග ඇතිවූ කථාබහෙන් පසු භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකාවේ වඩිමින්, පස්වග භික්ෂූන් වහන්සේලා වාසය කළ බරණැස් නුවර ඉසිපතන මිගදාය කරා වැඩම කළා. එදා ඇසළ පුන් පොහෝ දිනයක්. තමන් වෙත වැඩම කරන භාග්‍යවතුන් වහන්සේව පස්වග භික්ෂූන් වහන්සේලා දුරදීම දුටුවා. දැක එකිනෙකා සමග මේ විදියට කථා බහ කරගත්තා.
“ඇවැත්නි සිව්පසය බහුල වූ, පධන් වෙර වැඩීමෙන් පිරිහී ගිය, ප්‍රත්‍ය බහුල භාවයට පත්වූ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පැමිණෙනවා. ඒ ශ්‍රමණ ගෞතමයන්හට නො වැදිය යුතු යි. උපස්ථාන නො කළ යුතු යි. පාත්‍ර සිවුරු නො පිළිගත යුතු යි. එසේ වුවත් ආසනයක් තැබිය යුතු යි. ඉදින් කැමති නම් හිඳගනු ඇති.”
තෙරක් නොපෙනන සසර ගමනක යමින් විඳින්නට තිබෙන අප්‍රමාණ දුක්ඛස්ඛන්ධයකින් තමන් එතෙර කරවීමට පැමිණෙන භාග්‍යවතුන් වහන්සේට, නොදැනුවත් භාවය නිසා, ගරු බුහුමන් දැක්වීමේන් වැළකී සිටීමට කතිකා කරගත්ත ද, භාග්‍යවතුන් වහන්සේ සමීපයට වඩින විට තමන් සිදු කරගත් කතිකාවතේ සිටීමට පස්වග භික්ෂූන් වහන්සේලාට හැකි වූයේ නැහැ. ඔවුන් භාග්‍යවතුන් වහන්සේට පෙර ගමන් කොට, එක් අයෙක් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු පිළිගත්තා. තවත් අයෙක් ආසනයක් පැණවූවා. එක් අයෙක් පා දෝවනය කරන පීඨයත් පා තබන ලී කඩත් සකස් කොට තැබුවා. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයේ වැඩ සිටියා. වැඩ සිට පා දෝවනය කළා.
a26
එසේ නමුත් පස්වග භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ගෞතම යන නමෙනුත්, ඇවැත්නි යනුවෙනුත් (ආවුසෝ වාදයෙන්) තමයි කථා කරන්නට පටන් ගත්තේ. ඒ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් මෙසේ දේශනා කළා.
“මහණෙනි, තථාගතයන් වහන්සේට, නමෙනුත්, ආවුසෝ වාදයෙනුත් කථා කරන්නට එපා. මහණෙනි, තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ යි. මහණෙනි, කන් යොමු කරන්න. මා විසින් අමෘතය සාක්ෂාත් කරන ලදි. මම අනුශාසනා කරන්නම්. දහම් දෙසන්නම්. යම් විදියකින් මා අනුශාසනා කරන්නේ ද ඒ අයුරින් පිළිපදින තැනැත්තා, නො බෝ කලකින් ම යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයන් ගිහි ගෙදරින් මනා කොට නික්ම අනගාරික වූ සාසනයේ පැවිදි බව ලබනවා ද, ඒ අනුත්තර බ්‍රහ්මචර්යාවෙහි කෙළවර (නිවන) මේ ජීවිතයේ දී ම තමන් විසින් ම විශිෂ්ඨ ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ ය.”
භාග්‍යවතුන් වහන්සේ එසේ පැවසූ විට පස්වග භික්ෂූන් වහන්සේලා එය පිළිගන්නට කැමති වූයේ නැහැ. උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා.
“ඇවැත්නි ගෞතමයෙනි, ඔබ වහන්සේ ඒ දුෂ්කර වූ ඉරියව් පැවැත්වීමෙන්, ඒ දුෂ්කර ප්‍රතිපදාවෙන්, ඒ දුෂ්කර කටයුත්තෙන් පවා ආර්යයන් වහන්සේලාට සුදුසු වූ මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ඤාණ දර්ශන විශේෂයක් උපදවා ගන්නට සමත් වුනේ නැහැ. දැන් ඔබ වහන්සේ සිව්පසය බහුල භාවයට පත්වෙලා, පදන් වෙර වැඩීමෙන් පිරිහිලා, ප්‍රත්‍ය බහුල භාවයට වැටිලා, කොහොම නම් ආර්යයන් වහන්සේලාට සුදුසු වූ මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ඤාණ දර්ශන විශේෂයක් උපදවා ගත්තා ද..”
එවිට භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට මෙසේ දේශනා කොට වදාළා..
“මහණෙනි, තථාගතයන් වහන්සේ සිව්පසය බහුල භාවයට පත්වෙලා නැහැ. පදන් වෙර වැඩීමෙන් පිරිහී නැහැ. ප්‍රත්‍ය බහුල භාවයට වැටිල නැහැ. මහණෙනි, තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ යි. මහණෙනි, කන් යොමු කරන්න. මා විසින් අමෘතය සාක්ෂාත් කරන ලදි. මම අනුශාසනා කරන්නම්. දහම් දෙසන්නම්. යම් විදියකින් මා අනුශාසනා කරන්නේ ද ඒ අයුරින් පිළිපදින තැනැත්තා, නො බෝ කලකින් ම යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයන් ගිහි ගෙදරින් මනා කොට නික්ම අනගාරික වූ සාසනයේ පැවිදි බව ලබනවා ද, ඒ අනුත්තර බ්‍රහ්මචර්යාවෙහි කෙළවර (නිවන) මේ ජීවිතයේ දී ම තමන් විසින් ම විශිෂ්ඨ ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ ය.”
තුන් වතාවක් දක්වා ම භාග්‍යවතුන් වහන්සේ එසේ පැවසුවත් පස්වග භික්ෂූන් වහන්සේලා පෙර පරදිම පිළිතුරු දෙමින් එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.
“මහණෙනි, මා මීට පෙර ඔබලාට මෙවැනි දෙයක් පැවසූ බවක් දන්නවා ද.?”
“නැත ස්වාමීනී..”
මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ පෙර දී තමන් සම්මා සම්බුදු බවක් පැවසුවාද යනුවෙන් විමසූ විට පස්වග භික්ෂූන් වහන්සේලා පළමු වතාවට “ස්වාමීනී“ යනුවෙන් පිළිතුරු දුන්නා.
ඉන්පසු තථාගතයන් වහන්සේ නැවත ද මෙසේ වදාළා. “මහණෙනි, තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ යි. මහණෙනි, කන් යොමු කරන්න. මා විසින් අමෘතය සාක්ෂාත් කරන ලදි. මම අනුශාසනා කරන්නම්. දහම් දෙසන්නම්. යම් විදියකින් මා අනුශාසනා කරන්නේ ද ඒ අයුරින් පිළිපදින තැනැත්තා, නො බෝ කලකින් ම යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයන් ගිහි ගෙදරින් මනා කොට නික්ම අනගාරික වූ සාසනයේ පැවිදි බව ලබනවා ද, ඒ අනුත්තර බ්‍රහ්මචර්යාවෙහි කෙළවර (නිවන) මේ ජීවිතයේ දී ම තමන් විසින් ම විශිෂ්ඨ ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ ය.”
භාග්‍යවතුන් වහන්සේට තමන් වහන්සේ සම්මා සම්බුද්ධ බව මෙසේ පස්වග භික්ෂූන් වහන්සේලාට ඒත්තු ගන්වන්නට හැකි වුනා. එවිට පස්වග භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ වචනය හොදින් අසා සිටියා. කන් යොමු කළා. භාග්‍යවතුන් වහන්සේ වදාරණ ධර්මය දැනගැනීම පිණිස සිත පිහිටවූවා.
ඒ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ තුන් ලොව කම්පා කරවමින් තමන් වහන්සේගේ මංගල ධර්ම දේශනය වන අසිරිමත් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කොට වදාළා. ඒ වන විට ලෝකයෙහි කිසිවෙකුත් විසින් පෙර නො ඇසූ විරූ ආර්ය සත්‍ය ධර්මය කැටි කොටගත් දම්සක් දෙසුම අවසානයේ දී කොණ්ඩඤ්ඤ භික්ෂූන් වහන්සේ, උතුම් සෝතාපන්න ඵලයෙහි පිහිටියා. දම්සක් දෙසුම කියවන්න
භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි දී උතුම් දම්සක ප්‍රවර්ථනය කළ බවත්, එය දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවේ කිසිවෙකුට ආපසු කැරකැවිය නො හැකි බවත්, ඒ අවස්ථාවේ දී පොළොව වාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹ ලොව දක්වාම මෙසේ එම දහම් ඝෝෂාව පැතිර ගියා. දස සහශ්‍රී ලෝකධාතුව කම්පා වුණා. තදින් ම කම්පා වුණා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ ආලෝකයක් මුලු මහත් ලෝකයෙහිම පැතිර ගියා.
විනය පිටකයේ මහාවග්ග පාළිය ඇසුරිනි..